Monday, November 22, 2010

අපේ ගෙදරටත් හොරු ඇ​විල්ලා..

මේක වෙලා නම් දැන් ටික ද​වසක්. ගෙදර හැමෝම නිදි. වෙලාව 1.30 ට විතර ඇති, මමත් ඉතින් ලෝකෙ පෙරලුනත් දැනෙන්නෙ නැති තරමටම නිදි. හැබැයි අපේ අප්පච්චිට පොඩි ශබ්දයකට පවා අවදි වෙනවා. මගේ කාමරයට අල්ලපු කාමරයෙ තමා අප්පච්චිලා ඉන්නෙ එදා ඔය කිව්ව වෙලාවට විතර අප්පච්චිට ටික්... ටික්... වගේ ශබ්දයක් ඇහෙන්න ගත්තලු.එදා හද තිබුන දවසක් නිසා ඇතුලෙ ඉන්න අයට එළිය පෙනුනට එළියෙ අයට ඇතුල නම් පෙනෙන්නේ නෑ... කොහොමෙන් කොහොම හරි අප්පච්චි ඇද ලග තිබුන පාපිස්නයට කකුල තියලා නැගිට්ටලු. කාමරයේ ජනයලය ලග ඔලුවක් පෙනෙනවලු හොදට බැලුවලු ඒත් ඔලුවක් තමයි දැන් ඉතින් මොකද කරන්නේ ,මේ යකා ජනයලෙන් අත දම දමා මොනවාදෝ ගන්නවලු අප්පච්චිත් ඉතින් යකාටවත් බය නෑනෙ හිමින් හිමින් ජනයලය ලගටම ගිහින් එළියට අත දමලා ඔහෙ හිටපිය ..ති... ...තා.. වගේ හොද වචන ටිකකුත් කියාගෙනම උගෙ අතින් අල්ලගෙන අත ඇතුලට ඇදලා. මුගෙත් මර බියටද කොහෙද, අත කොහොම හරි ඇදලා අරගෙන.අප්පචිචි අත කඩන්නම් කියලලු බැලුවේ. ඒත් වැඩේ හරි ගියේ නම් නෑ ,එතනින් ඉවර උනේ නෑ එතකොටම අප්පච්චි කිව්වා චුටි පුතා තුවක්කුව ගේන්න කියලා අපිට කොහෙන්ද තුවක්කු මට ඇහැරුනා ඇහැරුනා තමයි, මමත් ඈදේ පොල්ලක් අරගෙන කරුවලේ බිත්තියෙත් හැප්පිලා කොහොම හරි එලියට බැහැලා බැලුවා මොකෙක්වත් නෑ.උදේම අපි හොරා ආව අඩි පාර බැලුව ආව පාර කෙසේ වෙතත් බයටද කොහෙද ගිය පාර නම් අඩි 5න් 5න් වගේ තියෙනවා ඒක තියෙන්නෙත් එක ගෙදරකට යන පාර ලගට විතරයි. ඔන්න හැබැයි අපේ ගෙදරට ආව හොරාට මොකුත් ගන්න බැරි උනා.

ගුරුතුමා දුටු මහසොහොන් අවතාරය

එක්දහස් නවසිය පනස් හයේ වර්ෂයේ ගාලු දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි යටිගම්පොල රජයේ පාසල පිහිටා තිබුණේ විශාල කැලෑවකින් වටවූ කුඩා කඳුගැටයක් මුදුණේය. ප්‍රධාන මාර්ගයේ සිට සැතැපුම් හතක් පමණ දුරින් පිහිටි මේ පාසලට යෑමට ඒමට නිසි මාර්ගයක් නොතිබූ අතර තිබුණේ ප්‍රදේශයේ ගැමියන් විසින් තනා සාදාගත් කුඩා අඩි පාරකි.
ඇදුරු මඩුල්ල පස් දෙනෙකුගෙන් සමන්විත මේ පාසලේ මුල් ගුරුන්නාන්සේ වූයේ ජුලියන් ගුරුන්නාන්සේය. පාසලේ සේවය කළ උපගුරු විල්මන් මහතා මාතර ප්‍රදේශයේ කෙනෙකු වූ අතර ඔහු ගුරුකමට අමතරව යන්ත්‍ර, මන්ත්‍ර, වෙදකම් හා කේන්දර බැලීම යනාදී වැඩවලට ප්‍රසිද්ධියක් ඉසුලූ අයෙක් විය.
ජුලියන් මුල්ගුරුන්නාන්සේ අසනීපව සිටි දිනෙක පාසලේ ගුරුභවතුනගේ පඩි සල්ලි ගෙන ඒම සඳහා දිනක් උපගුරු විල්මන් ගුරුතුමා පිටත් කර හැරියේ ගාලු අධ්‍යාපන කාර්යාලය වෙතය. පාසලේ සිට බස් මාර්ගයට සැතපුම් හතක් පමණ මඟ ගෙවා යා යුතු බැවින් පාන්දරින්ම එහි යන ලෙස මුල්ගුරුන්නාන්සේ ඔහුට පැවසීය. ඒ පාන්දර හතරට පමණ ප්‍රධාන මාර්ගයට ගියහොත් ගාලු බසය අල්ලාගත හැකි බැවිනි. ගමේ ගැමියන් අතර වෙළෙඳාමේ යන අයද බඩු බාහිරාදිය රැගෙන ගාලු නගරයට යන්නේ මෙම බසයෙනි. මුල්ගුරුන්නාන්සේ ගේ කීමට එකඟ වූ විල්මන් ගුරුතුමා පාන්දර කුකුළා හඬලන විටම නැඟිට ගමනට සූදානම් වී පාසලේ තිබූ බයිසිකලයට නැඟී බස් පාරට යෑමට පිටත් විය.
මෙම අතුරු මාර්ගයේ ඇති සොහොන් පිටිය පිහිටා තිබුණේ පාසලට සැතැපුම් තුනක් පමණ දුරින් වූ අතර ඒ අසල ඇති විශාල නුග ගස මුළු ප්‍රදේශයටම අන්ධකාරය ගෙන දෙන්නක් විය.
මෙම ගස යටදී හොල්මන්වලට බයවී ලෙඩවුණු බොහෝ දෙනෙක් එම ගමේ සිටින බැව් දත් ගැමියන් මෙම ගස අසලින් යන්නේ තරමක බියකිනි. මේ බැව් එකවරම විල්මන් ගුරුතුමාගේ මතකයට ආ අතර ඔහුගේ් සිතද මේ නිසා සැලිනි. ඒ කෙසේ වෙතත් තමා ;හාල්මන් අවතාරවලට බය නැති අයෙක් බවට පුරසාරම් දොඩා ඇති බැවින් තවත් අයෙක් සමඟ යෑමද මදි පුංචිකමක් ලෙස හේ සැලකුවේය.
පාන්දර යාමයේ වෙළෙඳාමේ යන ඉතා තරබාරු ගැමි ස්ත්‍රියක වූ ඇලන් අක්කා ද එදින මෙම බස්රියේ යෑම සඳහා තම නිවසින් පිටත්වූයේ මේ අවස්ථාවේමය. ඇගේ නිවස මෙම සොහොන් පිටියට යාබදව පිහිටි නිසා පාරේ කවුරු හෝ එනතුරු ඇයද බලා සිටියේ නුගගස යටින් යාමට ඇති බිය නිසාය. පාන්දර පින්න වැටෙන බැවින් ඇය කළුපාට රෙද්දක් ඔලුවේ සිට වසාගෙන එළවළු කූඩය ද හිස මත තබාගෙන සිටියාය.
ඈතින් එන විල්මන් ගුරුතුමා දුටු ඇය සෙමින් සීරුවේ ඉදිරියට පියවර තැබුවාය. හොල්මන්, අවතාර ගැන සිතමින් නුග ගස අසලට එන විල්මන් ගුරුතුමා ඇලන් අක්කා දුටු ගමන් “මේ නම් එකත් එකටම මහසොහොන් අවතාර යයි” සිතුවේය. “බුදු අම්මෝ” යැයි මරහඬ තලමින් බයිසිකලය ආපසු හරවාගත් විල්මන් ගුරුතුමා එකපිම්මට බයිසිකලය ද රැගෙන පයින් ම දිව ගියේ නුදුරින් පිහිටි මාටින් අයියාගේ කඩය වෙතය.
 මරලතෝනි දෙමින් කඩයට දිව ආ විල්මන් ගුරුතුමා ‘මාටින් අයියේ මහසෝනා එනවා” යැයි කියමින් ඇද වැටුණේ් සිහිවිකල්ලෙනි. විල්මන් ගුරුතුමාව හඳුනාගත් මාටින් අයියා කඩේ සිටි අයත් සමඟ එකතුවී ඔහු ඔසොවා ඇඳක තබා යකැදුරෙක් හනික ගෙන්වා ප්‍රතිකාර කරන ලදුව සෑහෙන වේලාවකින් පසු ඔහුට පියවි සිහිය ආවේය.
මෙම සිද්ධිය සැලවූ ඇලන් අක්කා පසුදින උදෙන්ම පාසලට පැමිණ වෙළඳාමේ යන තමන්ට සිදුවූ සිද්ධිය පිළිබඳ සියලු කරුණු ජුලියන් මුල්ගුරුන්නාන්සේ හමුවේ පැවසුවාය. සියල්ලන්ටම තම සිනහව නවතාගැන්මට සෑහෙන වේලාවක් ගතවිය.